මෙරට ඉදිකිරීම්, නිෂ්පාදන, අපනයන සහ සේවා ඇතුළු සියලුම ක්ෂේත්‍රවල කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉන්ධන කිසිදු බාධාවකින් තොරව ලබාදීම සඳහා රජය විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කරයි. අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ, කර්මාන්ත පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහය ලබාදීමට රජය කැපවී සිටින බවයි.
වාර්තා වන දත්තවලට අනුව, 2026 මාර්තු 16 වනදා සිට මේ දක්වා ක්ෂේත්‍ර 20කට අයත් කර්මාන්තකරුවන් 2,846 දෙනෙකු සිය ඉන්ධන අවශ්‍යතා පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර ඇති අතර, ඉන් ඉල්ලීම් 2,551ක් සඳහා නිර්දේශ ලබා දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත යොමු කර තිබේ. විශේෂයෙන්ම ලීටර් 400ට වඩා අඩුවෙන් ඉන්ධන අවශ්‍ය වන සුළු පරිමාණ කර්මාන්තකරුවන් සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අනුමැතිය මත තමන්ට ආසන්නතම ඉන්ධන පිරවුම්හලෙන් අවශ්‍ය තොග ලබාගැනීමට පහසුකම් සලසා ඇත.
කර්මාන්තකරුවන්ට මුහුණ දීමට සිදුවන ඉන්ධන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ එක්ව අමාත්‍යාංශය නිරන්තරයෙන් කටයුතු කරන බව ද ලේකම්වරිය වැඩිදුරටත් අවධාරණය කළාය. මෙම වැඩපිළිවෙළ හරහා රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටත්, අපනයන ආදායම සුරක්ෂිත කිරීමටත් රජය අපේක්ෂා කරයි.















