මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් වාතාවරණය ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට සෘජු හෝ සැළකිය යුතු මට්ටමේ තර්ජනයක් එල්ල නොකරන බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. කෙසේ වෙතත්, මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය ආර්ථිකය සමස්තයක් ලෙස අස්ථාවර වුවහොත් පමණක් ශ්‍රී ලංකාවට යම් බලපෑම් ඇති විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
රට තුළ දැනට ගොඩනගා ඇති ශක්තිමත් ආර්ථික පදනම හේතුවෙන් මෙවැනි ගෝලීය අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමේ හැකියාව රජයේ භාණ්ඩාගාරය සතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. ඕනෑම හදිසි තත්ත්වයක් දරාගත හැකි මට්ටමකට මේ වන විට මෙරට මූල්‍ය පද්ධතිය සකස් වී ඇති බව පවසන ඒ මහතා, වත්මන් තත්ත්වය පිළිබඳව රජය නිරන්තර අවධානයෙන් පසුවන බව ද සඳහන් කළේය.














