ලබන මාර්තු 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ “ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026″ (Sri Lanka Investment Forum 2026) කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) අද (28) නිල වශයෙන් නිවේදනය කළේය. යුරෝපීය සංගමය (EU), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ආසියා පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම (UNESCAP) යන ජාත්‍යන්තර ආයතනවල සහයෝගීතාවයෙන් මෙම සමුළුව සංවිධානය කර තිබුණි. පවතින ගෝලීය සැපයුම් ජාල (Logistics) ගැටලු සහ ගුවන් ගමන් සඳහා එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම උපායමාර්ගික තීරණය ගත් බව ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සමුළුව පැවැත්වෙන නව දිනය නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, මේ වන විටත් ලියාපදිංචි වී ඇති සියලුම පාර්ශවයන්ගේ ලියාපදිංචිය ඉදිරි දිනය සඳහා ද වලංගු වන බව බලධාරීන් පවසයි. ශ්‍රී ලංකාවට විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ඉතා වැදගත් වේදිකාවක් වන මෙම සමුළුව කල් දැමීමට සිදුවීම, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් සහ ප්‍රවාහන සේවා අඩාල වීම සමඟ සෘජුවම සම්බන්ධ බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. නව දිනය තහවුරු වූ වහාම ඒ පිළිබඳව සියලුම දේශීය හා විදේශීය ආයෝජකයන් දැනුවත් කිරීමට ආයෝජන මණ්ඩලය සූදානම්ව සිටී.














