මතභේදයට තුඩු දී ඇති ඉරාන නෞකා මෙරටට පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු සොයා බැලීමෙන් අනතුරුව තමා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව විපක්ෂ මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (26) ප්‍රකාශ කළේය. හිටපු විදේශ අමාත්‍යවරයෙකු ද වන ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවතින තොරතුරු පරස්පර විරෝධී බැවින් නිශ්චිත නිගමනයකට එළඹිය නොහැකි බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ප්‍රකාශ කළේ ඉරාන නෞකාවල සුහද සංචාරයක් සඳහා වූ ඉල්ලීමට ශ්‍රී ලංකාව එකඟ නොවූ බව වුවද, කොළඹ සිටින ඉරාන තානාපතිවරයා පවසන්නේ ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් ආරාධනයක් ලැබී තිබූ බව යැයි මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පවතින මෙම අපැහැදිලි තත්ත්වය හමුවේ සැබෑ කරුණු විමර්ශනය කර කඩිනමින් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද රවී කරුණානායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














