ඉරානය සහ ඊශ්‍රායලය අතර හටගෙන ඇති දරුණු යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකා රජය අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරමින් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අද (මාර්තු 03) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය. ට්‍රම්ප් පරිපාලනය සහ ඊශ්‍රායලය එක්ව ඉරානය විනාශ කර මැදපෙරදිග කලාපයේ ආධිපත්‍යය පැතිරවීමට උත්සාහ කරන බවත්, මෙම තත්ත්වය මැදපෙරදිග සේවය කරන ලක්ෂ දහයකට අධික ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම මෙරට තෙල් සහ ගෑස් මිල කෙරෙහි ද සෘජුව බලපාන බව ඔහු පෙන්වා දුන්නේය.
ඉරානයට ප්‍රහාර එල්ල කිරීම වැරදි බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ නමුත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම කණගාටුවට කරුණක් බව ඔහු සඳහන් කළේය. එදා ජනාධිපතිවරයා සතුව තිබූ “රැඩිකල්” බව අද දක්නට නැති බවත්, ඇමෙරිකානු හිටපු තානාපතිනී ජුලී චෑන්ග් මහත්මිය සිය ධුරයෙන් සමුගෙන මෙරටින් යන විට ජනාධිපතිවරයාගේ එම රැඩිකල් බව ද ඇය සමඟ රැගෙන ගොස් ඇත්දැයි තමන්ට සැක සහිත බවත් ඔහු උපහාසාත්මකව ප්‍රකාශ කළේය. (ජුලී චෑන්ග් මහත්මිය 2026 ජනවාරි 16 වනදා සිය ධුර කාලය නිමවා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියාය).
මේ අතර, මැදපෙරදිග පවතින උණුසුම් තත්ත්වය හේතුවෙන් ලෝක ආර්ථිකයට සිදුවන බලපෑම අවම කිරීම සඳහා සියලු පාර්ශවයන් සාමකාමී විසඳුමකට එළඹිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද අද දින සිය ප්‍රකාශයකින් අවධාරණය කර තිබේ.














