මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙරට යූරියා පොහොර තොග සීමිත වී ඇති බැවින්, එළඹෙන 2026 යල කන්නයේදී එම පොහොර නිකුත් කිරීම වී වගාව සඳහා පමණක් සීමා කිරීමට රජය තීරණය කර තිබේ. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ සියලුම ගොවිජන සංවර්ධන නිලධාරීන් වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ පවතින සීමිත තොග සැලකිල්ලට ගෙන වී වගාව සඳහා පමණක් අමිශ්‍ර යූරියා පොහොර නිකුත් කරන ලෙසයි. ඒ අනුව වගා කරන භූමි ප්‍රමාණයට අදාළව නිර්දේශිත ප්‍රමාණය පමණක් ගොවීන් වෙත නිකුත් කිරීමට පියවර ගැනේ.
ගොවිජන සංවර්ධන කොමසාරිස් (සේවා) කේ.ඒ. සුමිත් චන්දන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිල ලිපියට අනුව යූරියා පොහොර නිකුත් කිරීම ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා පමණක් සිදු කෙරෙනු ඇත. කන්න රැස්වීම්වල තීරණ හෝ වී වගා කරන බවට වූ තහවුරු කිරීම් මත පමණක් පොහොර නිකුත් කරන අතර, දත්ත පද්ධතියට තොරතුරු ඇතුළත් කර ඇති ගොවීන්ගේ වගා භූමි ප්‍රමාණයට අදාළව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශයන්ට යටත්ව මෙම අලෙවි කටයුතු සිදු කළ යුතුය. පවතින තොග තත්ත්වයන් නිසි ලෙස කළමනාකරණය කරගනිමින් 2026 යල කන්නයේ වී වගා කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම ජාතික වගකීමක් බව රජය වැඩිදුරටත් අවධාරණය කරයි.














