නව දිල්ලියේ පැවැත්වෙන රයිසිනා සංවාදයට (Raisina Dialogue) සමගාමීව, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ මෝල්ටාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ඉයන් බෝර්ග් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්විණි. දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වී තිබේ.
මෙම සාකච්ඡාවේදී සාගර සහයෝගීතාව, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය, වීසා පහසුකම් සැලසීම සහ නිත්‍ය ද්විපාර්ශ්වික උපදේශන ආරම්භ කිරීම වැනි ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය. ශ්‍රී ලංකාවේ තාක්ෂණික මධ්‍යස්ථාන, හරිත යටිතල පහසුකම් සහ විශේෂයෙන්ම කොළඹ වරාය නගරය (Port City Colombo) ආශ්‍රිතව පවතින නව ආයෝජන අවස්ථා ගවේෂණය කරන ලෙස විජිත හේරත් මහතා මෝල්ටා ආයෝජකයින්ට මෙහිදී ඇරයුම් කළේය.
ශ්‍රී ලංකාව සහ මෝල්ටාව අතර පවතින මිත්‍රත්වය සහ සහයෝගීතාව ඉදිරි කාලය තුළ තවදුරටත් පුළුල් කිරීමට දෙපාර්ශ්වයම මෙහිදී සිය එකඟතාව පළ කර ඇත.













