මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සිදුවන මිල ඉහළ යාම මෙරටට ද පාලනය කළ නොහැකි ලෙස බලපානු ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ලෝක මට්ටමින් තෙල් සහ ගෑස් සැපයුම සීමා වීම නිසා දැනටමත් මිල ඉහළ යාමක් වාර්තා වී ඇති බවත්, එම තත්ත්වය හමුවේ මෙරට පාරිභෝගිකයන්ට ද එම මිල ඉහළ යාමේ පීඩනය දැරීමට සිදුවන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සහ නාවික ගමන් මාර්ගවලට එල්ල වී ඇති බාධා මුළු ලෝකයටම පොදු ගැටලුවක් බවයි. විශේෂයෙන්ම ආනයන හා අපනයන සඳහා නාවික මාර්ග භාවිතා කරන ශ්‍රී ලංකාව වැනි රටවලට මෙය සෘජුවම බලපාන බැවින්, ජාත්‍යන්තර වෙළෙඳපොළේ සිදුවන මිල වෙනස්වීම් හමුවේ දේශීය වෙළෙඳපොළ මිල ගණන් පාලනය කිරීම අසීරු තත්ත්වයක් වී ඇති බව ඔහු අවධාරණය කළේය.














