ලෝකයේ රටවල් කිහිපයක වේගයෙන් පැතිර යන නව කොවිඩ්-19 (COVID-19) ප්‍රභේදයක් පිළිබඳව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයෙන් පසුවනවා. දේශීය ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය නිරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුකරන බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන්නේ.
ජාත්‍යන්තර සෞඛ්‍ය වාර්තාවලට අනුව ‘සිකාඩා’ (Cicada – BA.3.2) ලෙස හැඳින්වෙන මෙම නව ප්‍රභේදය මුලින්ම හඳුනාගෙන ඇත්තේ 2024 වසරේ නොවැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාවෙන් වන අතර මේ වන විට එය අවම වශයෙන් රටවල් 23 කින් පමණ වාර්තා වී තිබෙනවා. පසුගිය වසරේ අගභාගයේ සිට අමෙරිකා එක්සත් ජනපදයේද මෙම ප්‍රභේදයට අදාළ ආසාදිතයන්ගේ ක්‍රමික වැඩිවීමක් දක්නට ලැබෙනවා. විශේෂඥයන් පවසන්නේ මෙම ප්‍රභේදය තුළ පවතින ජාන විකෘතිතා හේතුවෙන් මීට පෙර ලබාගත් එන්නත් හෝ ආසාදනය වීම් මඟින් ශරීරයේ ඇති වූ ප්‍රතිශක්තිකරණයට යම් බලපෑමක් එල්ල විය හැකිද යන්න පිළිබඳව මේ වන විට පර්යේෂණ පවත්වන බවයි.
මෙම නව ප්‍රභේදය ආසාදනය වූ විටද උණ, කැස්ස, උගුරේ අමාරුව, නාසයෙන් සොටු දියර ගැලීම හෝ නාසය අවහිර වීම, අධික විඩාව, හිසරදය සහ මස්පිඩු වේදනාව වැනි සාමාන්‍ය කොවිඩ් රෝග ලක්ෂණම පෙන්නුම් කරනවා. ඇතැම් රෝගීන්ට හුස්ම ගැනීමේ අපහසුව හෝ රස සහ සුවඳ දැනීමේ හැකියාව අඩුවීමද සිදුවිය හැකියි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ මෙරටින් මෙතෙක් එවැනි ආසාදිතයෙකු හමු වී නොමැති වුවත් ජාත්‍යන්තරව පැතිර යන ඕනෑම වෛරස් ප්‍රභේදයක් මෙරටටද අවදානමක් විය හැකි බැවින් ඒ පිළිබඳව ඉතා සමීපව නිරීක්ෂණය කරමින් පසුවන බවයි.















