මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වාහන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේදී සිදුවූ බවට සැක කෙරෙන බරපතල මූල්‍ය අක්‍රමිකතා සහ වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් සිදු කෙරෙන පුළුල් විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
විශේෂයෙන්ම මෙරටට නීති විරෝධී ලෙස ගෙන්වන ලද වාහන සහ රේගු බදු ගෙවීම පැහැර හැර ඇති වාහන ව්‍යාජ ලේඛන මගින් පද්ධතියට ඇතුළත් කර ලියාපදිංචි කිරීමේ ජාවාරමක් පිළිබඳව කාලයක සිට තොරතුරු අනාවරණය වී තිබිණි. මෙම අක්‍රමිකතා හේතුවෙන් රජයට විශාල බදු ආදායමක් අහිමි වී ඇති බවට ද මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු පිළිබඳව ද මේ වන විට විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී. අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.















