අද (08) දින දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ රිය අනතුරු කිහිපයක් හේතුවෙන් පුද්ගලයන් පස්දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. වත්තල, කුඩාගහපිටිය මංසන්ධිය අසලදී යතුරුපැදියක් සහ පාපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් 44 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් ඇති අතර, ඔහු රාගම රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ. මේ අතර එගොඩ උයන, ජයමාවත ප්‍රදේශයේදී පානදුර දෙසට ධාවනය වූ යතුරුපැදියක පදිකයෙකු ගැටීමෙන් සිදුවූ අනතුරකින් 50 හැවිරිදි කෝරලවැව ප්‍රදේශවාසියෙකු පානදුර රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
පුලියන්කුලම – වව්නියාව මාර්ගයේ රාමනූර් ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ පාපැදියක් ගැටීමෙන් සිදුවූ තවත් අනතුරකින් යතුරුපැදියේ පසුපස ගමන් කළ 59 හැවිරිදි පුද්ගලයෙකු බරපතල තුවාල ලබා පුලියන්කුලම රෝහලේදී මියගොස් ඇත. හංවැල්ල – කොළඹ මාර්ගයේ රණාල ප්‍රදේශයේදී කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් 34 හැවිරිදි කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගිය අතර එම අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව සම්මන්තුරේ ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් එහි රියදුරු එම වාහනයටම යටවී ස්ථානයේදීම මියගොස් ඇති අතර ඔහු 40 හැවිරිදි අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.














