පසුගිය මාර්තු 14 වනදා සිට යළිත් බලාත්මක කරන ලද QR කේතය පදනම් කරගත් ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය (National Fuel Pass) යටතේ මේ වන විට පුද්ගලයින් 6,276,911 දෙනෙකු සාර්ථකව ලියාපදිංචි වී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා ප්‍රකාශ කළ අතර මැදපෙරදිග පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා රජය මෙම තීරණය ගෙන තිබේ. මාර්තු 15 වනදා සිට මේ දක්වා අලුතින් ලියාපදිංචි වූවන් සංඛ්‍යාව 2,701,914ක් වන අතර දෛනිකව ලක්ෂ 3කට අධික පිරිසක් පද්ධතියට එක්වෙමින් පවතින අතර විශේෂයෙන්ම මීට පෙර ලියාපදිංචි කළ ජංගම දුරකථන අංකය අස්ථානගත වූ හෝ වෙනත් අයෙකු සතු වූ වාහන හිමියන් සඳහා හඳුන්වා දුන් “Override System” එක හරහා පමණක් පුද්ගලයින් 654,342ක් සිය QR කේතයන් යළි සක්‍රීය කරගෙන ඇත. කෘෂිකාර්මික උපකරණ සහ ජනන යන්ත්‍ර වැනි වාහන නොවන කාණ්ඩ (Non-vehicle category) සඳහා අතිරේක ඉන්ධන කෝටාවක් ලබාදීමට මේ වන විට සාකච්ඡා පවතින බවත් ඒ පිළිබඳ අවසන් තීරණය එළඹෙන සඳුදා (30) නිවේදනය කිරීමට නියමිත බවත් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළ අතර මෙම පියවර හරහා ඉන්ධන පෝලිම් පාලනය කිරීමට සහ පවතින ඉන්ධන තොග සාධාරණ ලෙස බෙදා හැරීමට රජය අපේක්ෂා කරයි.













