ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ සහ දිවයින වටා සිදු කළ දැවැන්ත මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම්වල තිරය පිටුපස තොරතුරු සහ සංඛ්‍යාලේඛන අනාවරණය කර ඇති අතර “එක්සත් ජාතියක්” ජාතික මෙහෙයුම යටතේ ක්‍රියාත්මක වූ මෙම වැටලීම්වලදී 2025 වසරේ සහ 2026 වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 100කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට ඔවුන් සමත්ව තිබේ. නාවික හමුදා දත්තවලට අනුව 2025 වසරේදී පමණක් රුපියල් බිලියන 75කට අධික මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 1,050ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,982ක් අඩංගු වූ බවත් එම වැටලීම්වලදී සැකකරුවන් 376ක් සහ දේශීය යාත්‍රා 11ක් සිය භාරයට ගත් බවත් ඔවුන් පෙන්වා දෙයි. 2026 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් රුපියල් බිලියන 25කට අධික මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගෙන ඇති අතර මෑතකදී දකුණු මුහුදේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 133ක් සමඟ නවීන ගිනිඅවි තොගයක් ද අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. ජාවාරම්කරුවන් සාමාන්‍ය බහුදින ධීවර යාත්‍රා ලෙස වෙස්වලාගෙන මෙම ජාවාරම් සිදු කරන බැවින් බුද්ධි තොරතුරු විශ්ලේෂණය කර ගැඹුරු මුහුදේ මාස ගණනාවක් රැඳී සිටිය හැකි සමුද්‍රීය නිරීක්ෂණ නෞකා යොදවා මෙම වැටලීම් සිදු කරන බවත් මේ සඳහා චන්ද්‍රිකා තාක්ෂණය සහ ජාත්‍යන්තර බුද්ධි අංශවල සහය ද ලබා ගන්නා බවත් නාවික හමුදාව වැඩිදුරටත් අනාවරණය කරයි.














