ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මන්නාරමට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ඔවුන්ගේ ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වී තිබේ. උතුරු මැද නාවික විධානය මගින් පසුගිය බදාදා (08) රාත්‍රියේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා මූලස්ථානය නිවේදනය කරයි.
මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රා කණ්ඩායමක් නිරීක්ෂණය කිරීමෙන් පසු නාවික හමුදා යාත්‍රා යොදවා ඔවුන් මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. එහිදී දිගින් දිගටම මසුන් ඇල්ලීමේ නිරත වූ එක් යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ඔවුන්ගේ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.













