ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ යාත්‍රා කරමින් තිබූ චීන ධජය සහිත නෞකාවක සිටි රෝගී වූ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු බේරාගෙන ගොඩබිමට රැගෙන ඒමට (MEDEVAC) ශ්‍රී ලංකා නාවික හමුදාව අද (27) සමත් විය. නාවික සැතපුම් 700ක් පමණ දුරින් යාත්‍රා කරමින් තිබියදී අදාළ නෞකාවෙන් ලැබුණු හදිසි ආපදා ඇමතුමකට අනුව කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
රෝගියාගේ තත්ත්වය පිළිබඳ තොරතුරු ලැබුණු වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, අදාළ නෞකාව ගාල්ල වරාය සීමාව වෙත ගෙන්වා ගැනීමට කටයුතු කළ අතර රෝගියාට අවශ්‍ය මූලික වෛද්‍ය උපදෙස් ද සන්නිවේදන මාර්ග ඔස්සේ ලබා දීමට පියවර ගත්තේය. අනතුරුව දකුණු නාවික විධානයට අයත් යාත්‍රාවක් මගින් අද උදෑසන රෝගියා ආරක්ෂිතව ගොඩබිමට රැගෙන එන ලදී.
ගොඩබිමට රැගෙන ආ රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ලේ පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමට නාවික හමුදාව සහ නෞකාවේ දේශීය නියෝජිත ආයතනය කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීමේ කලාපය තුළ පීඩාවට පත්වන ජාත්‍යන්තර නාවික ප්‍රජාවට සහාය වීම සඳහා නාවික හමුදාව දක්වන සක්‍රීය දායකත්වය මෙම මෙහෙයුම හරහා යළිත් තහවුරු විය.














