මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ ස්ථාවරය පිළිබඳව ඊයේ (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මෙරට මධ්‍යස්ථභාවය ආරක්ෂා කර ගැනීම රජයේ ප්‍රමුඛතම ප්‍රතිපත්තිය බව අවධාරණය කළේය. ඉරාන නාවික යාත්‍රා 03කට සහ ඇමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා දෙකකට මෙරටට පැමිණීමට අවසර ඉල්ලා තිබූ නමුත්, කලාපීය ආරක්ෂාව සහ මධ්‍යස්ථභාවය සලකා එම ඉල්ලීම් දෙකම ප්‍රතික්ෂේප කළ බව ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය. යුද ගැටුමකට පාර්ශ්වකරුවකු වීම වළක්වා ගනිමින්, ජාත්‍යන්තරය හමුවේ රටේ කීර්තිය රැක ගැනීමට මෙම තීරණය හේතු වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඉරාන නෞකාවකට එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් 32ක් සහ මියගිය 84 දෙනෙකුගේ සිරුරු ගොඩබිමට රැගෙන ඒමට මානුෂීය පදනම මත ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදා විශාල මෙහෙයුමක් දියත් කළ බව ඔහු පැවසීය. එමෙන්ම ඉරාන යුද නෞකාවක එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එහි සිටි නාවිකයන් 206 දෙනෙකු මධ්‍යස්ථභාවය රකිමින් නාවික හමුදා භාරයේ රඳවාගෙන සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය හා ආහාර පහසුකම් ඉතා මනුෂ්‍යත්වයෙන් යුතුව ලබා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. යුද්ධය හේතුවෙන් බොරතෙල් නැව් දෙකක් අවලංගු වීම නිසා ඇතිවිය හැකි බලශක්ති අර්බුදය පාලනය කිරීමට මාර්තු 05 වැනිදා සිටම කල්තියා ටෙන්ඩර් කැඳවා පිරිපහදු කළ ඉන්ධන ආනයනයට පියවර ගත් බව ද ඔහු හෙළි කළේය.
බලශක්ති දාමය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා රජය ගන්නා උත්සාහය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ වසර ගණනාවක් පුරා බලශක්ති සැපයුම් ජාලය වෙළාගෙන සිටි දූෂිත “කාටල” (Cartels) බිඳ දැමීමට රජය කටයුතු කරන බවයි. මෙහිදී ඇතැම් නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් අසත්‍ය තොරතුරු පතුරවමින් කෘතිම හිඟයක් මවාපෑමට උත්සාහ කළ ද, ඊට ඉඩ නොදෙන බව ඔහු අවධාරණය කළේය. බලශක්ති පිරිවැය කළමනාකරණය සඳහා රජයේ අමාත්‍යාංශවල බලශක්ති වියදම 25%කින් වහාම අඩු කිරීමට උපදෙස් දී ඇති අතර, ඉදිරි උත්සාහ සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ දාමය ශක්තිමත් කිරීමට බිමල් රත්නායක ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ද පත් කර තිබේ.












