විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ නවසීලන්ත පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ විපක්ෂ ප්‍රකාශිකාව වන වනුෂි වෝල්ටර්ස් මහත්මිය අතර නිල හමුවක් පවත්වා ඇත.
මෙම හමුවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව අමාත්‍යවරයා සාකච්ඡා කර ඇති අතර, ඒ පිළිබඳව සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙය ඉතා සුබවාදී සාකච්ඡාවක් බව සඳහන් කර තිබේ. විශේෂයෙන්ම වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය, ආයෝජන අවස්ථා සහ දේශපාලන ක්ෂේත්‍රයේ නව වර්ධනයන් මෙන්ම ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇත.
වනුෂි වෝල්ටර්ස් මහත්මිය තමන් සතු ශ්‍රී ලාංකික මූලයන් පිළිබඳව මෙහිදී සිහිපත් කර ඇති අතර, නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව එරටට ලබා දෙන දායකත්වය සහ ඔවුන් ඉටුකරන වැදගත් භූමිකාව අගය කිරීමටද ඇය කටයුතු කර තිබේ.
















