ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් දෝෂ සහිත බවට හඳුනාගෙන ඇති, ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධ ආලේපිත හෘද කොරෝනරි ස්ටෙන්ට් (Drug Eluting Coronary Stents) වර්ග තුනක් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස සියලුම රජයේ සහ පෞද්ගලික සෞඛ්‍ය ආයතන වෙත උපදෙස් දී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය විසින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව, ‘Meril Life Sciences Pvt Ltd’ ආයතනයේ “Biomime Lineage” ස්ටෙන්ට් වර්ගවල ගුණාත්මකභාවය සහ ආරක්ෂිතභාවය පිළිබඳ බරපතළ ගැටලු හඳුනාගෙන ඇත. රුධිර නාල තුළ නිසි ස්ථානයට රැගෙන යාමේ අපහසුව, ස්ථාපනය කිරීමට පෙර ස්ටෙන්ට් කොටස ගැලවී යාමේ අවදානම, හදිසි රුධිර කැටි ගැසීම් (Acute Stent Thrombosis) සිදු වීම සහ ස්ටෙන්ට් එක නිසි ලෙස විහිද නොයෑම වැනි දෝෂ මෙම නිෂ්පාදනවල පවතී. මෙම දෝෂ හේතුවෙන් සැත්කම් කාලය දීර්ඝ වීම, රෝගියාගේ ජීවිත අවදානම වැඩි වීම සහ අමතර වියදම් දැරීමට සිදු වීම වැනි අහිතකර තත්ත්වයන් මතු වේ.
වහාම භාවිතයෙන් ඉවත් කර වෙන් කර තැබිය යුතු (Quarantine) ස්ටෙන්ට් වර්ග ලෙස SR 13501504, SR 13501506 සහ SR 13501409 යන අනුක්‍රමික අංක (SR Numbers) සහ ඒවාට අදාළ BLG16 හා BLG11 කාණ්ඩ අංක (Batch Numbers) සහිත නිෂ්පාදනයන් නම් කර ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ උපදෙස් පරිදි රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර, දැනටමත් මෙම ස්ටෙන්ට් වර්ග ශරීරගත කර ඇති රෝගීන් අඛණ්ඩ වෛද්‍ය අධීක්ෂණයට ලක් කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
















