දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉදිරි ක්‍රියාමාර්ග සහ මහජනතාව දැනුවත් කිරීම සඳහා වන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (02) පැවැත්වීමට නියමිතය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පෙරවරු 10:30ට මෙම සාකච්ඡාව ආරම්භ වේ.
පවතින අධික රශ්මිය සහ වර්ෂාව නොමැති වීම හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැසීම නිසා ජල සැපයුමට එල්ල වී ඇති බලපෑම පිළිබඳව මෙහිදී කරුණු පැහැදිලි කෙරෙනු ඇත. ජල පාරිභෝගිකයන් වෙත අඛණ්ඩව ජලය සැපයීම සඳහා ජලසම්පාදන මණ්ඩලය ගෙන ඇති විකල්ප ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ජල කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය වන්නේද යන්න පිළිබඳව ද මෙහිදී නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය.
විශේෂයෙන්ම පවතින තත්ත්වය හමුවේ ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, පානීය ජලය වෙනත් කාර්යයන් (වාහන සේදීම, ගෙවතු වගාවන් ආදිය) සඳහා යොදා ගැනීම සීමා කරන ලෙසට ද මින් පෙර දැනුම් දී තිබුණි. මෙම මාධ්‍ය හමුවේදී ජලසම්පාදන මණ්ඩලයේ උසස් නිලධාරීන් විසින් වත්මන් ජල අර්බුදයට විසඳුම් සහ උපදෙස් මාලාවක් ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














