2025 (2026) වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ප්‍රායෝගික පරීක්ෂණ 2026 අප්‍රේල් 22 දින සිට මැයි 04 දින දක්වා දිවයින පුරා පරීක්ෂණ මණ්ඩල 1198 කදී පැවැත්වීමට නියමිත අතර මෙවර අපේක්ෂකයින් 162,587 ක් ඒ සඳහා පෙනී සිටීමට සුදුසුකම් ලබා ඇත.
සංගීතය (අපරදිග) විෂය හදාරන සිසුන් සඳහා වන ශ්‍රවණ පරීක්ෂණය 2026 අප්‍රේල් 26 වනදා එම විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන මධ්‍යස්ථානවලදීම සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. අවසාන ප්‍රතිඵල නිර්ණය කිරීමේදී ලිඛිත සහ ප්‍රායෝගික යන පරීක්ෂණ දෙකෙහිම ලකුණු සැලකිල්ලට ගන්නා බැවින් කොටස් දෙකටම පෙනී සිටීම අනිවාර්ය වන අතර එක් කොටසකට හෝ පෙනී නොසිටින අපේක්ෂකයින්ට අදාළ විෂය සඳහා ප්‍රතිඵල නිකුත් කරනු නොලැබේ.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත ද මේ වන විටත් තැපැල් කර යවා ඇත. ප්‍රවේශ පත්‍රවල විෂය, මාධ්‍ය හෝ වෙනත් කිසියම් සංශෝධනයක් සිදු කිරීමට ඇත්නම් වහාම විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත දැනුම් දී ඒවා නිවැරදි කරවා ගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දෙයි.
















