වසර නවයක් තිස්සේ ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසත්, ඒ සඳහා පැරණි සමානුපාතික ඡන්ද ක්‍රමය භාවිතා කරන ලෙසත් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් ඉල්ලීමක් කර තිබේ. අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස් වූ මෙම කාරක සභාවේදී පෙන්වා දුන්නේ 2017 අංක 17 දරන පනත මගින් හඳුන්වා දුන් මිශ්‍ර සමානුපාතික ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සීමා නිර්ණය කිරීමේ කටයුතු නිම නොවීම හේතුවෙන් මැතිවරණය පැවැත්වීමට නීතිමය බාධා මතු වී ඇති බවයි. අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවාවන් රැසක් පළාත් සභා මගින් පාලනය වන බැවින් මැතිවරණය තවත් ප්‍රමාද කිරීම ගැටලු සහගත බව මන්ත්‍රීවරුන් මෙහිදී අවධාරණය කළහ.
ඒ අනුව දැනට පවතින නීතිමය බාධා ඉවත් කරමින් පැරණි ක්‍රමය යටතේ මැතිවරණය පවත්වා පසුව අවශ්‍ය සංශෝධන සිදු කිරීමට විපක්ෂය යෝජනා කර ඇත. කාන්තා සහ තරුණ නියෝජනය සහතික කෙරෙන වඩාත් දියුණු මැතිවරණ ක්‍රමයක් පිළිබඳව පුළුල් සංවාදයක අවශ්‍යතාව සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන් අතර ඉදිරි පියවර සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් මීළඟ රැස්වීමට කැඳවීමට තීරණය විය. මෙම විශේෂ කාරක සභාව සිය නිර්දේශ සහිත වාර්තාව මාස තුනක් ඇතුළත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.












