ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Dena’ නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස නිල ආරාධනයක් කර නොමැති බවට රජය කළ ප්‍රකාශය මගින් ඉරානය වැනි මිත්‍ර රටකට දැඩි අපහාසයක් සිදුකර ඇති බව විපක්ෂය චෝදනා කරයි. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ආරාධනයක් නොතිබූ බව පැවසුවද, ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා විසින් ඉරාන නාවික හමුදාපතිවරයා වෙත නිල ආරාධනයක් යවා ඇති බව ඉරාන තානාපතිවරයා ස්ථිරවම ප්‍රකාශ කර ඇති බවයි.
මෙය රජයකින් තවත් රජයකට කළ නිල ආරාධනයක් බවත්, එවැනි මිත්‍ර රටක ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කිරීම මගින් රජය විදේශ ප්‍රතිපත්තිය සමඟ සෙල්ලම් කරන බවත් ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය. විශේෂයෙන්ම ඉන්ධන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහය වීමට ඉරානය සූදානමින් සිටින මොහොතක මෙවැනි ක්‍රියා අනුමත කළ නොහැකි බව විපක්ෂයේ මතයයි. මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා යෝජනා කළේ, සිදු වූ අතපසුවීම සම්බන්ධයෙන් රජය ඉරානයෙන් සමාව ගත යුතු බවත්, මැදපෙරදිග අර්බුදය හමුවේ පීඩාවට පත් අනෙකුත් රටවල් සමඟ ද සුහදව කටයුතු කළ යුතු බවත්ය. කෙසේ වෙතත්, රජය පවසන්නේ මැදපෙරදිග යුද්ධය හමුවේ ශ්‍රී ලංකාව උපරිම මධ්‍යස්ථභාවයක් පවත්වා ගැනීමට උත්සාහ කරන බවයි.













