ශ්‍රී ලංකාවේ නීතිඥවරුන්, ජනමාධ්‍යවේදීන් ඇතුළු වෘත්තිකයින්ගේ ආරක්ෂාවට එල්ල වී ඇති බරපතල තර්ජන සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයින් රැසක් එක්ව ජාත්‍යන්තර සංවිධානවල මැදිහත්වීම ඉල්ලා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිහ, නාමල් රාජපක්ෂ ඇතුළු නායකයින් රැසකගේ අත්සනින් නිකුත් වූ මෙම ලිපිය මගින් මෙරට පවතින අනාරක්ෂිත බව සහ මර්දනකාරී නීති පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කර ඇත.
පසුගිය වසරේ සිදුවූ මරණ 60කට අධික සංඛ්‍යාව සහ මේ වසරේ මේ දක්වා වාර්තා වූ මරණ 9ක් ඇතුළු සංවිධානාත්මක ඝාතන රටාව පිළිබඳව මෙහිදී අවධාරණය කර තිබේ. විශේෂයෙන්ම පෙබරවාරි 13 වන දින නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම මෙරට නීති ක්ෂේත්‍රයේ දැඩි කැලඹීමකට හේතු වූ අතර, එම ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ ප්‍රකාශ වගකීම් විරහිත බවට ද විපක්ෂය චෝදනා කරයි.
යෝජිත ත්‍රස්ත විරෝධී පනත හරහා මහජන මතය මර්දනය කිරීමට සහ මාධ්‍ය නිදහස අඩාල කිරීමට රජය උත්සාහ කරන බව පෙන්වා දෙන විපක්ෂ නායකයින්, මෙමගින් ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන් (ICCPR) උල්ලංඝනය වන බව ද සඳහන් කරයි. ඒ අනුව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය, හියුමන් රයිට්ස් වොච් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ආයතන රැසකගේ මැදිහත්වීම ඔවුන් ඉල්ලා සිටියි.












