ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සහ අධීක්ෂණ කාර්යයන් වඩාත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින්, ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව (HDP) සමඟ එක්ව විශේෂ පුහුණු වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු වී තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් අතර පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව එකඟතාවකට පැමිණ ඇත.
මෙම වැඩපිළිවෙළ යටතේ අයවැය පාලනය, රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය සහ ව්‍යවස්ථාදායක කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ නිලධාරීන්ට ඇමරිකානු විශේෂඥයින්ගේ මගපෙන්වීම යටතේ පුහුණුව ලබා දීමට නියමිතය. විශේෂයෙන්ම රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය සමඟ එක්ව මෙම වැඩමුළු සංවිධානය කිරීමට සැලසුම් කර ඇති බව ඇමරිකානු දේශපාලන ආර්ථික උපදේශක ඇන්තනි පර්නොට් (Anthony Pirnot) මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකා – එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීමට ද තීරණය වී ඇත.
මෙහිදී අදහස් දැක්වූ කථානායකවරයා පෙන්වා දුන්නේ, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) මගින් ලබා දෙන නිර්දේශ මත නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කිරීමට හැකි වන පරිදි පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මෑතකදී සංශෝධනය කළ බවයි. මීට අමතරව, මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් පාලන නියෝජිතයන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා විශේෂ ‘පාර්ලිමේන්තු අධ්‍යයන මධ්‍යස්ථානයක්’ පිහිටුවීමට ද පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
















