මෙරට සාම විනිසුරු පත්වීම් ලබාදීමේදී මින් ඉදිරියට කිසිදු දේශපාලනික මැදිහත්වීමක් සිදු නොකරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (06) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සාම විනිසුරු පදවිය යනු ගෞරවනීය තනතුරක් බැවින් එය දේශපාලන හිතවත්කම් මත ලබාදීම මෙයින් ඉදිරියට නතර කරන බවයි.
සාම විනිසුරුවරුන් සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීම, දැනට සිටින සාම විනිසුරුවරුන් සංඛ්‍යාව නියාමනය කිරීම සහ වාර්ෂිකව පත් කරනු ලබන නව නිලධාරීන් සංඛ්‍යාව පිළිබඳව විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. විශේෂයෙන්ම සාම විනිසුරුවරයෙකු ලෙස පත්වීමක් ලබා ගැනීමට අවශ්‍ය මූලික සුදුසුකම් දැඩි ලෙස පරීක්ෂාවට ලක් කිරීමටත්, එම පත්වීම් ලබාදීමෙන් පසු ඔවුන්ගේ සේවය ඇගයීමට ලක් කිරීමටත් ඉදිරියේදී කටයුතු කරන බව අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














