ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ තම පක්ෂය නූතන පරම්පරාවට ගැළපෙන ලෙස හැඩගැසෙමින්, රටේ සංස්කෘතිය සහ හර පද්ධතීන් ආරක්ෂා කරගෙන ඉදිරියට යන බවයි. නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති විධායක සභා රැස්වීමකින් පසු මාධ්‍ය ඇමතූ ඒ මහතා අවධාරණය කළේ ශ්‍රී ලංකාව “හුණ්ඩුවක්” ලෙස නොව ගෞරවනීය මාතෘ භූමියක් ලෙස සලකා කටයුතු කළ යුතු බවයි.
ඉරාන නෞකාවට එල්ල වූ සබ්මැරීන් ප්‍රහාරය සම්බන්ධයෙන් රජය සහ නාවික හමුදාව පරස්පර ප්‍රකාශ නිකුත් කරන බවත්, මෙවැනි ප්‍රහාරයක් තම ආර්ථික කලාපය තුළ සිදුවන තෙක් බුද්ධි අංශ දැනුවත් නොවූයේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය. “යහපාලන ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් කරන්නේ බුද්ධි අංශ නිලධාරීන් හිරේ දාන එකයි,” යැයි පවසමින් සලේ මහතා අත්අඩංගුවට ගැනීම විවේචනය කළ නාමල් රාජපක්ෂ මහතා, රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුවට රහස් ගිවිසුම් පවතීදැයි සැකයක් පවතින බව ද සඳහන් කළේය. 1971දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අනුගමනය කළ නොබැඳි පිළිවෙත සිහිපත් කරමින්, කලාපීය ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රමුඛතාවය හඳුනාගෙන කටයුතු කිරීමේ වැදගත්කම ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.














