අපරාධ මැඩපැවැත්වීම සහ මත්ද්‍රව්‍ය නිවාරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ දෛනික සෝදිසි මෙහෙයුම් මාලාව යටතේ ඊයේ (28) දිනය තුළ පමණක් සැකකරුවන් 635 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කරන පරිදි ඊයේ දිනයේදී දිවයින පුරා පුද්ගලයින් 29,191ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී විවිධ අපරාධවලට සෘජුවම සම්බන්ධ පුද්ගලයින් 16 දෙනෙකු හඳුනාගැනීමට හැකි වී ඇත. මීට අමතරව අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබූ, කලක් සැඟව සිටි විවෘත වරෙන්තුකරුවන් 126 දෙනෙකු ද මෙම මෙහෙයුම් අතරතුරදී පොලිස් දැලට හසු වී තිබේ.
මෙම මෙහෙයුමේදී මාර්ග ආරක්ෂාව කෙරෙහි ද දැඩි අවධානයක් යොමු කර ඇති අතර, බීමත්ව රිය පැදවීමේ චෝදනාව මත පුද්ගලයින් 197 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරට අනුබල දුන් පුද්ගලයින් 82 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. තවද, වෙනත් විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,643 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ. වත්මන් රජය යටතේ අපරාධ අවම කිරීම සඳහා පොලිස් බලතල දැඩිව ක්‍රියාත්මක කරන පසුබිමක, මහජන සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ඉදිරි දිනවලදී ද ක්‍රියාත්මක වන බව පොලිසිය වැඩිදුරටත් අවධාරණය කළේය.















