වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් හයදෙනෙකු මල්වතුහිරිපිටිය පොලිස් වසමේ වරපලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (26) සිදුකළ විශේෂ වැටලීමකදී මෙම පිරිස කොටුකර ගැනීමට හැකි වී ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 21, 23, 34 සහ 41 යන වයස් කාණ්ඩවල පසුවන බංග්ලාදේශ ජාතිකයින් පිරිසක් බව පොලිසිය තහවුරු කරයි.
මෙම විදේශිකයන් මෙරටට පැමිණි අරමුණ සහ ඔවුන් කිසියම් රැකියාවක හෝ වෙනත් නීතිවිරෝධී කටයුත්තක නිරත වූයේද යන්න පිළිබඳව මල්වතුහිරිපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි. වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශිකයන් හඳුනා ගැනීම සඳහා පොලිසිය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දිවයින පුරා මෙහෙයුම් දැඩි කර ඇති පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය. සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


















