ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව පරිපාලන ගොඩනැගිල්ල වන සමුද්‍රීය පහසුකම් මධ්‍යස්ථානයේ (Maritime Facilitation Centre – MFC) දැනට සිදුවෙමින් පවතින ඉදිකිරීම් කටයුතු වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල සහ වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
කොළඹ කොටුව ඇළ අංගණ පරිශ්‍රයේ (Canal Yard) ඉදිවන මෙම නව සංකීර්ණය සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) මගින් රුපියල් බිලියන 5ක සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක ප්‍රතිපාදන වෙන් කර ඇත. 2021 ජූලි මාසයේදී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය කොවිඩ්-19 වසංගතය සහ රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ප්‍රමාද වූ අතර, මේ වන විට එහි ඉදිකිරීම්වලින් 75%ක් පමණ අවසන් කර තිබේ. මහල් 19කින් යුත් මෙම ගොඩනැගිල්ල වර්ග මීටර් 35,000ක වපසරියකින් සමන්විත වන අතර එහි නිමාව යාත්‍රා කරන නැවක හැඩයට නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
වරාය අධිකාරියේ අංශ 24කට අයත් 1,600ක පමණ කාර්ය මණ්ඩලයක් මෙහි සේවය කිරීමට නියමිතය. රේගු මූලස්ථානය, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ප්‍රධාන බැංකු අසල මෙන්ම කොටුව දුම්රිය ස්ථානයට සහ බස් නැවතුම්පොළට ආසන්නව පිහිටීම නිසා වරාය සේවා ලාභීන්ට මෙමගින් විශාල පහසුවක් සැලසෙනු ඇත. චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව (CCECC) සහ චීන දුම්රිය සමූහය (China Railway Group) විසින් සිදු කරනු ලබන මෙම ව්‍යාපෘතිය 2026 වසර අවසානයට පෙර නිම කර ජනතා අයිතියට පත් කිරීමට අපේක්ෂා කෙරේ.














