මෙරට තැපැල් සේවාව නවීකරණය කරමින් තැපැල් කාර්යාල සඳහා නව ගොඩනැඟිලි 18ක් ඉදිකිරීමට සහ පවතින ගොඩනැඟිලි 211ක් අලුත්වැඩියා කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍ය ආර්යරත්න මෙනෙවිය ඊයේ (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. මේ සඳහා රුපියල් මිලියන 1,200ක මුදලක් වෙන් කර ඇති අතර, තැපැල් පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම රජයේ අරමුණ බව ඇය පෙන්වා දුන්නාය.
මුල්ලියවලෙයි තැපැල් කාර්යාලයට වෙන් කළ ඉඩම සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ, දැනට යුද හමුදාව යටතේ පවතින එම ඉඩම එළඹෙන ජූලි මාසය වන විට නිදහස් කිරීමට නියමිත බවයි. ඉන් අනතුරුව එම ස්ථානයේ නව තැපැල් කාර්යාලය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.















