ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර වීම සහ මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන ආනයනය සීමා වීම හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුවීමේ දැඩි අවදානමක් පවතින බව බලධාරීන් අනතුරු අඟවයි. වත්මන් තත්ත්වය යටතේ රාත්‍රී කාලයේදී අවම වශයෙන් පැයක පමණ විදුලි කප්පාදුවක් සිදු වීමට ඉඩ ඇති අතර, පවතින වියළි කාලගුණය නිසා ඉල්ලුම ඉහළ යාම මෙම අර්බුදය තවදුරටත් උග්‍ර කර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ‘ඩේලි මිරර්’ පුවත්පතට අනාවරණය කර ඇති පරිදි, මෙගාවොට් 900ක ධාරිතාවක් සහිත ගල්අඟුරු බලාගාර පද්ධතිය බාල ගල්අඟුරු භාවිතය නිසා දැනට මෙගාවොට් 120-150ත් අතර අඩු ප්‍රමාණයක නිෂ්පාදනයක් සිදු කරයි. මීට අමතරව, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහ ඉරානයෙන් ‘මර්බන්’ (Murban) වර්ගයේ බොරතෙල් ගෙන්වීමට බාධා එල්ල වීම නිසා සපුගස්කන්ද පිරිපහදුවට අවශ්‍ය තෙල් තොග ද අවසන් වෙමින් පවතී.
පවතින ඉන්ධන සහ ගල්අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම මත, රාත්‍රී කාලයේදී විනාඩි 30 සිට පැය 1 දක්වා විදුලිය විසන්ධි කිරීමට සිදු විය හැකි බවත්, ඉදිරියේදී ඉන්ධන ලැබීම තවදුරටත් ප්‍රමාද වුවහොත් මෙම කප්පාදුව දිනකට පැය 3ක් හෝ 4ක් දක්වා දීර්ඝ වීමේ අවදානමක් පවතින බවත් වාර්තා වේ. අස්ථාවර ඉන්ධන ආනයනය මත පදනම්ව අඛණ්ඩව විදුලිය සැපයීමට උත්සාහ කිරීම ඉදිරියේදී මහා පරිමාණ විදුලි බිඳවැටීමකට (Blackout) හේතු විය හැකි බවට ද නිලධාරීන් අනතුරු අඟවා ඇත.














