ශ්‍රී ලංකා රජය සියලු තීරණ ගනු ලබන්නේ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඉරාන නෞකාවකට එල්ල වූ ප්‍රහාරය සහ ඉන් අනතුරුව ශ්‍රී ලංකාව මැදිහත් වූ ආකාරය පිළිබඳව විපක්ෂය නගන චෝදනාවලට පිළිතුරු දෙමිනි.
ජනාධිපතිවරයා එහිදී දැක්වූ අදහස්වල සාරාංශය මෙසේය. ඉරාන නෞකාවට ප්‍රහාරය එල්ල වූයේ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවෙන් ඔබ්බෙහි වුවද, එය මෙරට ආර්ථික කලාපයට අයත් ප්‍රදේශයකි. ආපදාවට පත් පිරිස් මුදාගැනීම හේග් සම්මුතියට සහ සාගර සම්පත් පිළිබඳ සම්මුතීන්ට අනුව සිදුකළ මානුෂීය කාර්යයක් මිස කිසිදු පාර්ශවයකට යුදමය සහය දැක්වීමක් නොවන බව ඔහු පැහැදිලි කළේය. පවතින ලෝක දේශපාලන තත්ත්වය හමුවේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් මට්ටමක පවතින බව පැවසූ ජනාධිපතිවරයා, විශේෂයෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ ඩොලර් බිලියන 4.1 ක හානිය මධ්‍යයේ වුවද අයවැය පරාමිතීන් රැකගැනීමට රජය සමත් වූ බවත්, දැනට වෙළඳපොළෙන් ඩොලර් මිලියන 700 කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවත් සඳහන් කළේය.
විදේශගත ලාංකිකයන් සහ සංචාරකයින් සම්බන්ධයෙන් ගත් කල, මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තානාපති කාර්යාල හරහා පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවාවන් හඳුන්වා දී ඇති අතර, අවශ්‍ය වුවහොත් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමේ සැලසුම් ද සකස් කර ඇත. එමෙන්ම මෙරට සිටින සංචාරකයින්ට අවශ්‍ය නම් සති දෙකක නොමිලේ වීසා බලපත්‍ර ලබා දීමට ද තීරණය කර තිබේ. ඉන්ධන සැපයුම පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ඉන්ධන හිඟයක් පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නැති බවත්, පවතින ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට අවශ්‍ය තොග පවත්වා ගැනීමට නිලධාරීන් කටයුතු කරමින් සිටින බවත් අවධාරණය කළේය.
මුදාගන්නා ලද නාවිකයින් වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා වෛද්‍ය පරීක්ෂණ සහ ලියාපදිංචි කිරීම් සිදු කිරීමට නියමිතය. රජයේ මෙම මැදිහත්වීම ඉරාන රජයේ ඇගයීමට ද ලක්ව ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.












