2026 මාර්තු 08 වැනිදාට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත කාන්තා පරපුර වෙත සිය සුබපැතුම් පිරිනමා තිබේ. මෙරට ජනගහනයෙන් 52%ක් නියෝජනය කරන කාන්තාව රටේ ආර්ථිකයේ සහ සමාජයේ සුවිශේෂී භූමිකාවක් ඉටු කරන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයාගේ පණිවිඩයේ ඇතුළත් ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය. ශ්‍රී ලංකාවේ ඇඟලුම්, වතු සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රයන්හි කාන්තාව ලබා දෙන දායකත්වය 2025 වසරේ ලැබූ ආර්ථික ජයග්‍රහණවලට ප්‍රධාන හේතුවක් වූ බව ඔහු කෘතවේදීව සිහිපත් කළේය. එමෙන්ම මෙවර පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනයක් පැවතීම සහ ප්‍රථම වතාවට මලෛගම් ජනතාව නියෝජනය කරන කාන්තා මන්ත්‍රීවරියක තේරී පත්වීම ඉතිහාසගත සිදුවීම් ලෙස ඔහු අගය කළේය.
කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන්ට සහ වෙනස්කොට සැලකීම්වලට එරෙහිව ක්‍රියා කිරීමටත්, වැඩබිමේදී මෙන්ම පොදු ප්‍රවාහනයේදී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට රජය ප්‍රමුඛත්වය ලබා දී ඇති බව ජනාධිපතිවරයා පැවසීය. ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් තුළ කාන්තා ව්‍යවසායකත්වය පුළුල් කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බව ද ඔහු සඳහන් කළේය.
“පොහොසත් රටක අබිමන – ඇය වේ දැයක පෙර මග” යන තේමාව යටතේ සංවිධානය කර ඇති මෙවර කාන්තා දින සැමරුම, සහකම්පනයෙන් යුත් අනාගත පරපුරක් සහ දියුණු රටක් ගොඩනැගීමේ ගමනේ පෙරගමන්කරු ලෙස කාන්තාව ශක්තිමත් කරන බව ජනාධිපතිවරයා සිය පණිවිඩයෙන් වැඩිදුරටත් අවධාරණය කළේය.














