රාමසාන් සමයේ ප්‍රගුණ කළ ආධ්‍යාත්මික ශික්ෂණය සහ මානුෂීය වටිනාකම් පෞද්ගලික ජීවිතයට පමණක් සීමා නොකර රටේ පොදු යහපත උදෙසා යොදා ගැනීම වර්තමානයේ පවතින ප්‍රධාන අවශ්‍යතාවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. ඊදුල් ෆිතර් උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, මසක් පුරා උපවාසයේ නිරත වෙමින් ප්‍රගුණ කළ ඉවසීම, කැපකිරීම සහ අනුන්ගේ දුක හඳුනාගැනීම වැනි ගුණාංග රටේ තිරසාර සාමය සහ සමෘද්ධිය උදෙසා අත්‍යවශ්‍ය වන බවයි.
ශ්‍රී ලංකාවේ පවතින විවිධත්වය රටේ ශක්තියක් බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරිය, ජාතීන් අතර ගොඩනැගෙන අන්‍යෝන්‍ය විශ්වාසය හා සහෝදරත්වය මත ශ්‍රී ලාංකිකයන් ලෙස එක් ධජයක් යටතේ නැගී සිටීමට මෙම උත්සවය දිරිමත් කරන බව අවධාරණය කළාය. විශේෂයෙන්ම තමා සතු දෙයින් කොටසක් නැති බැරි අය වෙනුවෙන් පරිත්‍යාග කිරීමේ ‘සකාත්’ (Zakat) වැනි උතුම් චාරිත්‍ර හරහා සමාජ සාධාරණත්වය ඉස්මතු වන බවත්, වඩාත් සහයෝගී ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට එය අඩිතාලමක් වන බවත් ඇය සිය පණිවිඩය මඟින් පෙන්වා දෙයි.
මෙලෙස සහෝදරත්වයෙන් රාමසාන් සමරන මොහොතක, මැදපෙරදිග කලාපයේ පවතින අවාසනාවන්ත යුදමය වාතාවරණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය සිය දැඩි සංවේගය පළ කළාය. මානුෂීය වටිනාකම් අභියෝගයට ලක්ව ඇති මෙවන් යුගයක, යුද්ධයෙන් පීඩිත ජනතාවට කඩිනමින් සහන සැලසීම සහ එම කලාප තුළ සාමය ස්ථාපිත වීම සමස්ත ලෝක ප්‍රජාවගේම වගකීමක් බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.














