පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රජයට නැවත වරක් දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම සඳහා මෙම මැතිවරණය කඩිනම් කළ යුතු බව ඉන්දියාවේ අදහසයි. පසුගියදා ශ්‍රී ලංකා නියෝජිතයන් ඉන්දියාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී ද මේ පිළිබඳව අවධාරණය කර තිබුණි.
මේ අතර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ඡන්ද ක්‍රමය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කර ඇති අමාත්‍ය විජිත හේරත් මහතා සභාපතිත්වය දරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන සතියේ රැස්වීමට නියමිතය. මෙම කාරක සභාවේදී ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් ඉතා ඉක්මන් තීරණයක් ගනු ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේය.















