ශ්‍රී ලංකාවේ ජාතික වස්තුවක් ලෙස සැලකෙන, වර්ෂ 2022 දී මියගිය නැදුන්ගමුවේ විජය රාජා හස්තියා විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව ප්‍රතිනිර්මාණය කර හෙට (11) සිට කොළඹ ජාතික කෞතුකාගාර පරිශ්‍රයේ පිහිටි ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි මහත්මිය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව තහවුරු කළාය.
රුපියල් මිලියන 25ක පිරිවැයක් දරා සිදුකළ මෙම සුවිශේෂී ව්‍යාපෘතිය යටතේ හස්තියාගේ සම සංරක්ෂණය කර, නිවැරදි මිමිවලට අනුව සැකසූ ආකෘතියක් මත එය තැන්පත් කර ඇත. විශේෂිත වීදුරු කුටියක ප්‍රදර්ශනය කෙරෙන මෙම නිර්මාණය වසර 500ක කාලයක් සුරක්ෂිතව තබාගත හැකි අයුරින් විද්‍යාත්මකව සකස් කර ඇති බව කෞතුකාගාර බලධාරීහු පවසති. දින ගණනාවක් පුරා සිදුකළ සංකීර්ණ සංරක්ෂණ ක්‍රියාවලියකින් පසු නිමවූ මෙම ප්‍රතිනිර්මාණය, මියගිය හස්තියාගේ ජීවමාන ස්වරූපය ඒ අයුරින්ම විදහා දැක්වීමට සමත් වී තිබේ.
දශකයකට වැඩි කාලයක් මහනුවර ඇසළ පෙරහැරේ කරඬුව වැඩම කරවූ නැදුන්ගමුවේ රාජා යනු මෙරට ජනතාවගේ ගෞරවාදරයට පත් සත්වයෙකි. හෙට සිට ආරම්භ වන මෙම ප්‍රදර්ශනය හරහා අනාගත පරපුරට ද මෙම සුවිශේෂී හස්තියාගේ රුව දැකබලා ගැනීමට අවස්ථාව උදාවනු ඇත.














