ගෝලීය තෙල් මිල ඉහළ යෑම සහ දේශීයව මතුව ඇති ඉන්ධන ඉල්ලුම කළමනාකරණය කිරීමේ පියවරක් ලෙස අද සිට ක්‍රියාත්මක වන පරිදි නැවතත් ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR ක්‍රමවේදය හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අද උදෑසන 6.00 සිට සියලුම ඉන්ධන පිරවුම්හල් මගින් ඉන්ධන නිකුත් කරනු ලබන්නේ ලියාපදිංචි පාරිභෝගිකයන්ට පමණක් වන අතර මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම නව ක්‍රමවේදය යටතේ වාහන සඳහා සතිපතා ඉන්ධන කෝටාවන් පනවා ඇති අතර මෝටර් සයිකල් සඳහා සතියකට ලීටර් 5ක් ද ත්‍රිරෝද රථ සහ මෝටර් රථ සඳහා සතියකට ලීටර් 15 බැගින් ද ඉන්ධන වෙන් කර ඇත. පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දීමට කටයුතු යොදා ඇති අතර අත්‍යවශ්‍ය සේවා සහ නිෂ්පාදන කාර්යයන් සඳහා වෙනම විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
පාරිභෝගිකයන්ට සිය QR කේතය ලබාගැනීම සඳහා fuelpass.gov.lk වෙබ් අඩවිය භාවිතා කළ හැකිය. පෙර ලියාපදිංචි වී සිටි පාරිභෝගිකයන්ට සිය පැරණි කේතය නැවත භාගත කරගත හැකි අතර විස්තර වෙනස් වූ හෝ අලුතින් ලියාපදිංචි වන පාරිභෝගිකයන් අද උදෑසන 6.00 සිට එම වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය යුතු බව රජය දැනුම් දෙයි.














