දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පූර්ණ හෝ අර්ධ වශයෙන් හානි වූ මෙන්ම අධි අවදානම් කලාපවල පදිංචි වතු ශ්‍රමික පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමේ විශේෂ වැඩපිළිවෙළකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සාමාන්‍ය ආපදා සහන චක්‍රලේඛ මඟින් වතු ශ්‍රමිකයන්ගේ නිවාස හානි සඳහා විශේෂිත විධිවිධාන සැලසී නොතිබීම හේතුවෙන් ජනාධිපතිවරයා සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා විසින් මෙම ඒකාබද්ධ යෝජනාව ඉදිරිපත් කර ඇත.
මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන සහන කිහිපයක් මෙසේය. ආරක්ෂක අමාත්‍යාංශයේ මාර්ගෝපදේශවලට අනුකූලව වර්ග අඩි 650ක නිවසක් ඉදිකිරීම සඳහා එක් පවුලකට රුපියල් මිලියන 05ක මුදලක් අදියරගතව රජය විසින් ලබා දීමට නියමිතය. අදාළ වතු සමාගම විසින් වත්තේ සුරක්ෂිත ස්ථානයකින් පර්චස් 10ක ඉඩම් කොටසක් ලබා දිය යුතු අතර, යම් හෙයකින් වතු සමාගම සේවය තවදුරටත් අවශ්‍ය නොවන බව තීරණය කර ඇති අවස්ථාවක, ශ්‍රමිකයා සතු වෙනත් ඉඩමක හෝ ලබා දෙන මුදලින් කොටසක් වැය කර මිලදී ගන්නා ඉඩමක මෙම නිවස ඉදිකිරීමට අවස්ථාව සලසා දී ඇත.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සහ ඔවුන්ට සුරක්ෂිත නිවාස අයිතිය තහවුරු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. නායයෑමේ තර්ජනයට ලක්ව ඇති සහ ජීව කාලය අවසන් වූ බවට තහවුරු කර ඇති නිවාසවල පදිංචිකරුවන්ට ද මෙමඟින් ප්‍රමුඛතාව හිමි වනු ඇත.
















