මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරටින් පිටව යාමට නොහැකිව සිටින විදේශිකයන් වෙනුවෙන් විශේෂ වීසා සහනයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට මැදපෙරදිග බලා පිටත් වීමට නියමිතව තිබූ ගුවන් ගමන් අවලංගු වීම නිසා තමන්ගේ වීසා කාලය අවසන් වීමට පෙර මෙරටින් බැහැර වීමට නොහැකි වූ විදේශිකයන් සඳහා කිසිදු ගාස්තුවකින් තොරව දින 14ක කාලයක් සඳහා වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට මෙහිදී අනුමැතිය හිමි විය. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවේ ප්‍රධාන අරමුණ වන්නේ අදාළ මගීන්ට විකල්ප ගමන් විධිවිධාන සකස් කර ගන්නා තෙක් ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූලව රැඳී සිටීමට අවශ්‍ය පහසුකම් සැලසීමයි. මෙම සුවිශේෂී තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය ගත් මෙම තීරණය මැදපෙරදිග කලාපීය අර්බුදය හමුවේ මෙරට සංචාරකයන් සහ විදේශිකයන් පත්ව ඇති අපහසුතාව අවම කිරීමට ගත් මානුෂීය පියවරක් ලෙස සැලකේ.














