රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පවතින සමාජීය හා දේශපාලනික කතිකාවත පිළිබඳව ‘යුක්තිය සඳහාම පමණයි’ සංවිධානය සිය දැඩි අවධානය යොමු කර තිබේ. එම සංවිධානය ප්‍රශ්න කර සිටින්නේ මෙම අත්අඩංගුවට ගැනීම හමුවේ ඇතැම් පාර්ශවයන් මෙතරම් කලබලයට පත්ව ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්නයි.
මෙම අත්අඩංගුවට ගැනීම නීතිමය ක්‍රියාවලියක කොටසක් බව පෙන්වා දෙන එම සංවිධානය, මීට පෙර විවිධ අපරාධ පරීක්ෂණ හා චෝදනා සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් සිදුවිය යුතු බවට ජනතාව තුළ තිබූ ඉල්ලීම සිහිපත් කරයි. බුද්ධි අංශ නිලධාරියෙකු වුවද නීතියට ඉහළින් කිසිවෙකු නොසිටිය යුතු බවත්, ඇතැම් පිරිස් මෙම පියවර විවේචනය කිරීම පිටුපස කිසියම් සැඟවුණු අරමුණක් පවතින්නේ දැයි සැකයක් පවතින බවත් ඔවුන් වැඩිදුරටත් කියා සිටියි.
මෙම පරීක්ෂණ කිසිදු බාධාවකින් තොරව ස්වාධීනව පවත්වාගෙන යාමට ඉඩ දිය යුතු බවත්, එහිදී අනාවරණය වන තොරතුරු මත යුක්තිය ඉටුකිරීම බලධාරීන්ගේ වගකීම බවත් ‘යුක්තිය සඳහාම පමණයි’ සංවිධානය අවධාරණය කරයි.














