2025 ජනවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 437.07ක් වූ ඇඟලුම් අපනයන ආදායම, 2026 ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 425.44ක් දක්වා සියයට 2.66කින් පහත වැටී ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසයි. ජනවාරි මාසයේදී ඇමරිකානු වෙළඳපොළට සිදුකළ අපනයන සියයට 2.73කින් පහත වැටී ඩොලර් මිලියන 165.11ක් වූ අතර, යුරෝපා සංගමයට සිදුකළ අපනයන (එක්සත් රාජධානිය හැර) සියයට 1.93ක අඩුවීමක් පෙන්නුම් කරමින් ඩොලර් මිලියන 126.99ක් දක්වා පහත වැටුණි.
කෙසේ වෙතත්, එක්සත් රාජධානියේ (UK) වෙළඳපොළ ස්ථාවරව පවතිමින් සියයට 0.23ක සුළු වර්ධනයක් සමඟ ඩොලර් මිලියන 61.71ක ආදායමක් අත්කර ගෙන ඇත. ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වූ සංශෝධිත සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) යටතේ සිදුකළ වෙළඳ ප්‍රතිසංස්කරණ මගින් නිෂ්පාදන නීති ලිහිල් කිරීම නිසා එක්සත් රාජධානියට බදු රහිතව ඇඟලුම් අපනයනය කිරීමට ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයින්ට හැකියාව ලැබී තිබේ.














