මෙරට ප්‍රමුඛතම ආහාර බෙදාහැරීමේ ජාලයක් වන Uber Eats සිය සේවා ජාලය නුවරඑළිය නගරය දක්වා ව්‍යාප්ත කිරීමට පියවර ගෙන තිබේ. මෙමඟින් නුවරඑළිය ප්‍රදේශවාසීන්ට මෙන්ම එහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ද තමන් කැමති ආහාර වර්ග නිවසට හෝ නවාතැන්පොළටම ගෙන්වා ගැනීමේ පහසුව උදා වේ. විශේෂයෙන්ම නුවරඑළියේ පවතින සුවිශේෂී ශීතල දේශගුණය සැලකිල්ලට ගනිමින්, ආහාරවල උණුසුම සහ ගුණාත්මකභාවය ආරක්ෂා වන පරිදි සකස් කළ විශේෂිත උෂ්ණත්ව පාලිත බෑග් (Temperature-controlled bags) බෙදාහැරීම් සඳහා භාවිත කිරීම මෙහි ඇති විශේෂත්වයකි.
පාරිභෝගිකයින්ට දේශීය අවන්හල්වල ආහාරවලට අමතරව KFC, Pizza Hut සහ Domino’s වැනි ජාත්‍යන්තර සන්නාමයන්ගෙන් ද ආහාර ඇණවුම් කළ හැකි අතර, රාත්‍රී කාලයේදී පවා මෙම සේවාව ලබා ගැනීමට අවස්ථාව සැලසේ. මෙම ව්‍යාප්තිය පිළිබඳ අදහස් දක්වමින් Uber ශ්‍රී ලංකා සමාගමේ බෙදාහැරීම් අංශයේ සාමාන්‍යාධිකාරී වරුණ විජේවර්ධන මහතා සඳහන් කළේ, මේ හරහා දේශීය අවන්හල් හිමියන්ට සිය ව්‍යාපාර පුළුල් කිරීමටත්, බෙදාහැරීමේ හවුල්කරුවන්ට අමතර ආදායම් මාර්ග උදා කර ගැනීමටත් අවස්ථාව සැලසෙන බවයි. පසුගිය වසරේදී දිවයිනේ නගර රැසකට සිය සේවාවන් ව්‍යාප්ත කළ Uber Eats, නුවරඑළියට පිවිසීමත් සමඟ මෙරට වෙළෙඳපොළ තුළ සිය ස්ථානය තවදුරටත් තහවුරු කර ඇත.














