අනතුරට පත් ඉරාන නෞකාවේ මෙරට රැඳී සිටින නාවිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කටයුතු කරන්නේ එක්සත් ජාතීන්ගේ සමුද්‍ර නීතිය පිළිබඳ සම්මුතියට (UNCLOS) අනුකූලව බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 11 වැනි රයිසිනා සංවාදයට (Raisina Dialogue) සහභාගී වෙමිනි.
සමුද්‍රීය නීතියේ මූලධර්මවලට අනුව මුහුදේදී අනතුරට ලක්වන ඕනෑම අයෙකු බේරා ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය මානුෂීය පහසුකම් සැලසීම වෙරළබඩ රාජ්‍යයක වගකීමක් බව ඔහු එහිදී පෙන්වා දුන්නේය. වත්මන් භූ-දේශපාලනික අර්බුද හමුවේ වුවද, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සම්මුතීන් ගරු කරමින් අපක්ෂපාතීව මෙම මානුෂීය මෙහෙයුම් සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මැදිහත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුම් ද හිමිව ඇති අතර, අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය හරහා ජාත්‍යන්තර නාවික ප්‍රජාව වෙත ශ්‍රී ලංකාවේ විශ්වාසනීයත්වය යළි තහවුරු කර තිබේ.














