මැදපෙරදිග කලාපයේ පවත්වාගෙන ගිය සියලුම අමෙරිකානු ආරක්ෂක මධ්‍යස්ථාන විනාශ වී ඇති බැවින්, ඉන්දියන් සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව සිය මීළඟ හමුදා මධ්‍යස්ථානය කරගැනීමට අමෙරිකාව දැඩි උත්සාහයක නිරත වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. ඉන්දියාවේ ‘මිලාන් 2026’ නාවික අභ්‍යාසයට සහභාගී වීමට පැමිණි ඉරාන නාවික පිරිසට අමෙරිකාව සබ්මැරීන මගින් පහර දීමට සැලසුම් කර තිබූ බවත්, ඒ පිළිබඳව ඉන්දීය ‘රෝ’ (RAW) ඔත්තු සේවය දැනුවත්ව සිටි බවත් ඔහු අනාවරණය කළේය. ඉන්දියාව මේ පිළිබඳව දැනගෙනත් ඉරාන නාවිකයන්ට තම රටෙන් පිටව යාමට ඉඩ දීම හරහා සදාචාරාත්මක වරදක් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
මෙම ඉරාන නෞකාව කොළඹ වරායට ඇතුළු කරගතහොත් ගුවන් මගින් ඊට පහර දෙන බවට කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට තර්ජනය කර ඇති බව ද වීරවංශ මහතා පැවසීය. එම තර්ජනය හමුවේ ආරක්ෂක ලේකම්වරයා නෞකාව ප්‍රතික්ෂේප කළ ද, රජයේ මුස්ලිම් දේශපාලනඥයන්ගේ මැදිහත් වීමෙන් අවසානයේ නෞකාව ත්‍රිකුණාමලයට ගෙන්වා ගැනීමට එකඟතාවක් ඇති කරගත් බව ඔහු අනාවරණය කළේය. අමෙරිකාව දැනටමත් ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් සිටින්නේ මෙම ඉරාන පිරිසට පිටව යාමට ඉඩ නොදෙන ලෙස බවත්, මේ හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගැටුම්වල සෘජු පාර්ශ්වකරුවෙකු කරමින් රට දඩබිමක් බවට පත් කිරීමට උත්සාහ දරන බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් අනතුරු ඇඟවීය.















