පවතින දැඩි ඉන්ධන අර්බුදය හේතුවෙන් වවුනියාව ප්‍රදේශයේ පාපැදි සඳහා පවතින ඉල්ලුම යළිත් ඉහළ ගොස් ඇති අතර ඒ සමඟම සාමාන්‍ය පාපැදියක මිල රුපියල් 5,000 සිට 7,000 දක්වා ප්‍රමාණයකින් වැඩි වී තිබේ. මීට පෙර රුපියල් 37,500කට අලෙවි වූ පාපැදියක මිල මේ වන විට රුපියල් 42,500ත් 45,000ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව වවුනියාව වෙළඳපොළ වාර්තා පෙන්වා දෙයි.
උතුරු පළාතේ ජනතාවගේ දෛනික ගමනාගමන කටයුතු, පාසල් සහ උපකාරක පන්ති යාම මෙන්ම රජයේ සේවකයන් සේවයට වාර්තා කිරීම සඳහා ද ප්‍රධාන වශයෙන් පාපැදිය භාවිත කරනු ලබයි. මීට පෙර යතුරුපැදි භාවිත කළ පිරිස් ද ඉන්ධන ගැටලුව හමුවේ යළිත් පාපැදි භාවිතයට යොමු වීම නිසා වෙළඳපොළේ පාපැදි හිඟයක් ද නිර්මාණය වී ඇත. මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ගෝලීය තෙල් මිල ඉහළ යාම සහ දේශීය ප්‍රවාහන වියදම් වැඩි වීම මෙම තත්ත්වයට සෘජුව බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














