බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, මොනරාගල, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට දැඩි අකුණු අනතුරු සිදුවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ‘ඇම්බර්’ වර්ණයෙන් යුත් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. අද (මාර්තු 17) දහවල් නිකුත් කරන ලද මෙම නිවේදනය රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙනු ඇත.
කාලගුණ වාර්තාවලට අනුව, ඉහත සඳහන් කළ ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී. විශේෂයෙන් විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී සිටින ලෙසත්, විදුලි උපකරණ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.













