හෙට (මාර්තු 25) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී එනම් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන කිහිපයක මෙලෙස වැසි ඇති වීමට ඉඩකඩ පවතී. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මීට අමතරව, හෙට අලුයම් කාලයේදී බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව ඇති වන තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, එළිමහන් කටයුතුවලදී සහ ගමන් බිමන්වලදී වඩාත් විමසිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.










