එල් නිනෝ (El Niño) තත්ත්වය සහ ඉන්දියන් සාගර ද්විධ්‍රැව (IOD) සංසිද්ධිය සක්‍රීය වීමේ ඉඩකඩක් පවතින බැවින් එළඹෙන ජූලි සහ අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවට දැඩි නියඟයකට මුහුණ දීමට සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා ඊයේ (27) අනතුරු ඇඟවීය. දැනට පවතින අධික උණුසුම් කාලගුණය අප්‍රේල් මාසය පුරාම සහ මැයි මාසයේ මුල් සති දෙක තුනක කාලය තුළත් පවතිනු ඇතැයි ඔහු පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මැයි මස 20 වැනිදාත් 25 වැනිදාත් අතර කාලය තුළ නිරිතදිග මෝසම් සුළඟ සක්‍රීය වීමත් සමඟ මැයි මස අවසාන සතියේදී පවතින අධික උණුසුම යම් මට්ටමකට අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සාමාන්‍යයෙන් ජූලි සහ අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවට ලැබෙන වර්ෂාපතනය අවම මට්ටමක පවතින අතර, එල් නිනෝ තත්ත්වය සියයට 10ත් 20ත් අතර ප්‍රමාණයකින් සක්‍රීය වුවහොත් පවතින තත්ත්වය නියඟයක් දක්වා වර්ධනය විය හැකි බව විජේමාන්න මහතා අවධාරණය කළේය. මෙම සංසිද්ධීන් හේතුවෙන් ඇතිවිය හැකි ජල හිඟය සහ කෘෂිකාර්මික බලපෑම් අවම කර ගැනීමට දැන් සිටම සූදානම් වීම වැදගත් බව විශේෂඥයෝ පවසති. මෙම වසරේ මැද භාගයේදී ඇතිවිය හැකි මෙම කාලගුණික වෙනස්කම් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින අතර ඒ පිළිබඳව ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇත.














