වසර 200ක එන්නත් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, කැස්ස, හෙම්බිරිස්සාව, ඉන්ෆ්ලුවෙන්සාව පමණක් නොව ඇදුම සහ පෙනහළු ආසාදනය කරන බැක්ටීරියාවන්ට පවා එරෙහිව සටන් කළ හැකි තනි “විශ්වීය එන්නතක්” (Universal Vaccine) නිපදවීමට ඇමරිකානු පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සේවය කරන, ශ්‍රී ලංකාවේ උපන් කීර්තිමත් ප්‍රතිශක්ති විද්‍යාඥ මහාචාර්ය බාලි පුලේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විප්ලවීය පර්යේෂණය සිදු කර ඇත.
සාමාන්‍යයෙන් එන්නතක් නිපදවනු ලබන්නේ එක් නිශ්චිත රෝගකාරකයකට එරෙහිව වුවද, මෙම නව එන්නත නාසයට විදින ස්ප්‍රේ එකක් (Nasal Spray) ලෙස ලබා දෙන අතර එමගින් ඕනෑම වෛරසයකට හෝ බැක්ටීරියාවකට එරෙහිව සටන් කිරීමට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිරන්තර සීරුවෙන් තබයි. සතුන් යොදාගෙන සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙමගින් වෛරස් ශරීරයට ඇතුළු වීම 100 ගුණයක සිට 1000 ගුණය දක්වා ප්‍රමාණයකින් අඩු කරන අතර එහි බලපෑම මාස තුනක් පුරා පවතින බවයි.
මෙම එන්නත මගින් නිවාසවල දූවිලි මයිටාවන් නිසා ඇතිවන අසාත්මිකතා සහ ඇදුම රෝගී තත්ත්වයන් පවා සාර්ථකව පාලනය කළ හැකි බව මහාචාර්ය පුලේන්ද්‍රන් පෙන්වා දෙයි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩැනියෙලා ෆෙරේරා වැනි ප්‍රවීණයන් පවා මෙය ශ්වසන රෝග පාලනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හඳුන්වා දී ඇත. ඉදිරියේදී මිනිසුන් යොදාගෙන සිදුකරන සායනික පරීක්ෂණ සාර්ථක වුවහොත්, අනාගතයේදී රෝග රැසකට වෙන් වෙන්ව එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවය මුළුමනින්ම නැති වී යනු ඇත.














