ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකු වසරකට පරිභෝජනය කරන සීනි ප්‍රමාණය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිර්දේශ කරන මට්ටමට වඩා තුන් ගුණයකින් වැඩි බව විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය චන්දන ගජනායක මහතා අනාවරණය කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය වසරකට සීනි කිලෝ 10ක උපරිමයක් නිර්දේශ කළද, ශ්‍රී ලාංකිකයෙකු සාමාන්‍යයෙන් වසරකට සීනි කිලෝ 34ක් පරිභෝජනය කරන බව හෙළි වී තිබේ. මෙම අධික සීනි භාවිතය නිසා මෙරට වැඩිහිටියන්ගෙන් 50%ක් හෙවත් දෙදෙනෙකුගෙන් එක් අයෙකු විදුරුමස් රෝගවලින් පීඩා විඳින බව ද හෙතෙම පෙන්වා දෙයි.
මාර්තු 10 වැනිදා ආරම්භ වීමට නියමිත පස්වැනි ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය පිළිබඳව දැනුවත් කරමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ වයස අවුරුදු 12ක දරුවන්ගෙන් 30%ක් සහ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 63%ක් දත් දිරායාමේ ගැටලුවලට මුහුණ දී සිටින බවයි. ජනතාවගෙන් 75%ක් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප භාවිත කිරීම යහපත් ප්‍රවණතාවක් වුවද, ආර්ථික අර්බුදය හමුවේ දන්තාලේප මිල ඉහළ යාම නිසා නැවතත් වෙළඳපොළට පැමිණ ඇති ‘දත් බෙහෙත් කුඩු’ (Tooth powder) භාවිතය දත්වලට හානිකර බවට ද ඔහු අනතුරු ඇඟවීය.














